අපේ පවුලේ හතලිස් හය වැනි වර්ණදේහය – හිනා ගිහින් හක්කත් පැන්න යකෝ

ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්ය. නමුත් ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. අපේ පවුලේද ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. එහෙත් එය මගේ ප්‍රියතම ක්‍රීඩාව නොවේ. වෙලාවකට නම් අප්‍රියතම ක්‍රීඩාවය. එසේ කියන්නේද කරුණු ඇතිවය.

මා කුඩා කාලයේ පටන් අපේ ගෙදර රූපවාහිනිය සම්බන්ධයෙන් නිතරම පාහේ දරුණු සටන් ඇවිලී ගියේය. ක්‍රිකට් තරඟයක් පැවැත්වෙන දිනයක මට ටිං ටිං, ගලිවර්ගේ වීර ක්‍රියා හෝ දොස්තර හොඳහිත බලන්නට ලැබුනේ නැත. රෑ වන විට අම්මාට හා අක්කාට අටහමාරේ ටෙලිනාට්‍යය බලන්නට ලැබුනේද නැත. අපේ ගෙදර පුරුෂ පාර්ශවය එදාට සම්පූර්ණයෙන්ම වාගේ රූපවාහිනිය අත්පත් කරගන්නා අතර මැච් එක පරදින පැත්තට හැරුනද ඔවුහු නොසැලෙන ධෛර්යයකින් හා අචල විශ්වාසයකින් යුක්තව එය ඉදිරියේ වාඩි වී පුපුරමින් සිටියෝය. එසේ සිටින අතර ඔවුන්ද එකිනෙකාට විරුද්ධව විනය පරීක්ෂන පැවැත්වීමට යාම නිසා ඇතැම් විට තත්වය තවත් භයානක වූවේය.

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව ඇදහූ තාත්තා, (ලංකාව පන්දු යවන විට ) හොර අවුට් දීම හෝ වයිඩ් නොදී ඇරීම වැනි ජාති මාමක ක්‍රියා තරයේ හෙලා දැක්කේය. අයියා සහ මල්ලී මෙම ජාතිද්‍රෝහීත්වය පිලිබඳව තාත්තා සමඟ නිරන්තරයෙන් ගැටුනහ. ගැටුම් උපරිම වනවිට තාත්තා පිටියෙන් ඉවත් වන අතර ඉක්බිති අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ අයියා සහ මල්ලී අතරය. ඊලඟට, ෆීල්ඩ් එක සෙට් කළයුතු ආකාරය, මීලඟ ඕවරය ලබාදිය යුත්තේ කාටද, මීලඟ බෝලය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව අදහස් දැක්වීමට ගොස් ඔවුන් දෙදෙනාද මරා ගනී. වරක් මෙම විවාදය අසා සිටි අම්මා කීවේ, මෙපමණ ක්‍රිකට් පිළිබඳ හසල අවබෝධයක් ඇති අය ගෙවල්වල තබා, මුකුත් නොදන්නා එකොලොස් දෙනෙකු කණ්ඩායමට ඇතුලත් කිරීමෙන් තේරීම් කමිටුව කර ඇත්තේ බලවත් වරදක් බවය.

මුලදී මැච් එකක් ඇති දාට ඉස්කෝලෙන් කලින් පැනීම, ක්ලාස් කට් කිරීම වැනි සුළු පරිමාණයේ කැපකිරීම් කළ අයියා පසුකාලීනව රැකියා ස්ථානයෙන් නෝ පේ ලීව් ගැනීමට පවා පෙලඹුනේ ක්‍රිකට් වලට ඇති අප්‍රමාණ ආදරය නිසාමය. මට පසුව අපේ විශ්ව විද්‍යාලයටම ඇතුලත් වූ මල්ලී, අදටත් මැච් එකක් ඇතිවිට ලෙක්චර්ස් කට් කරමින්, එග්සෑම් වලට මෙඩිකල් දමමින්, පවුලේ සම්ප්‍රදාය තවදුරටත් පවත්වාගෙන යමින් සිටී.

සනත් ජයසූරිය ක්‍රීඩා කරන කාලයේ අපේ අම්මාට පුදුමාකාර ලෙඩක් තිබුණි. සනත් පන්දුවට පහර දෙන වෙලාවට අම්මා වැරදිලාවත් රූපවාහිනී තිරය දෙස බැලුවහොත්, කොපමණ හොඳින් ක්‍රීඩා කරමින් සිටියද ඔහු දැවී යයි. අම්මා උයා පිහා, දවසේ වැඩ හමාර කර, කකුල් රිදෙනවාට පොඩ්ඩක් ටීවී එක ඉදිරිපිට වාඩි වූවිට , එස්.එස්.සී පිටියේ, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ, නැතහොත් සාජා, ලෝඩ්ස් හෝ ලාහෝර් ස්ටේඩියම් එකේ ක්‍රීඩාකරමින් සිටින සනත්ට කෙසේ හෝ ඒ බව ආරංචි වී, ඊලඟ බෝලයට අවුට් වී ගෙදර යයි. ඔහු තම ක්‍රිකට් දිවිය පුරාවටම අපේ අම්මාට පේන්නට ලකුණු රැස් කරන්නේ නෑ නෑ නෑමයි කියා තරයේ අධිෂ්ඨාන කරගෙන සිටි නිසා, ඒ මුලු කාලය පුරාවටම අම්මාට සිදු වූයේ රට වෙනුවෙන් කුස්සියට වී, තැපැල් මාර්ගිකව ස්කෝර් එක අසා ගැනීමටය.කෙසේ වෙතත් පසු කාලීනව මහේල, සංගක්කාර, මැතිව්ස් වැනි ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මෙම තත්වය නොපැවතුන නිසා, සනත් ක්‍රිකට් ගැසීම නතර කළ පසු, අම්මාට පැනවුන තරඟ තහනමද ඉවත් කරන ලදී.

අපේ බල්ලාගේ නම ෂේන්ය. දෙදාහ වර්ෂයේ අප වෙත ආ ඌට සෑහෙන කාලයක් නමක් නැතිව සිටීමට සිදු වුවද,පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන්නට වූ අපරිමිත සෙනෙහස සමරනු වස්, ඔහුට උපහාර පිණිස අපේ පවුලේ ඇත්තෝ බල්ලාට ෂේන් කියා නම තැබීමට ඒකමතිකව තීරණය කළහ. කෙසේ වෙතත් ගෙදරට ගෙනා ඊලඟ බල්ලා, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක M.S දෝනි නමින් නම් කිරීමට යාමේදී නම්, අක්කාත් මමත් එයට තරයේ විරුද්ධවීමු.

අපේ අක්කා විවාහවූයේ අනිල් අයියා සමඟය. මුලදී ඔවුන්ගේ ඇයි හොඳයියට අපේ ගෙදරින් වැඩි කැමැත්තක් නොවූවත්, ඔහුට අපේ පවුලට පෑහීමට අවශ්‍ය මූලික සුදුසුකම වන ක්‍රිකට් උන්මාදය තිබූ නිසා, ටික කලකින් ඔහුට එරෙහි සම්බාධක ඉවත් කිරීමට අපේ මහ බලවතුන් තීරණය කළේය. දෛවෝපගත ලෙස අක්කාගේ පළමු දරුවා උපන්නේද ක්‍රිකට් තරඟයක් දවසකය. අක්කාට ඉස්පිරිතාලයට යන්නට පිටත් වීමට තිබුණේ දහවල් දෙකයි හතරටය. එකයි තිස් නවයේ පටන් අක්කා කෙඳිරි ගාමින් සිටියාය. අනිල් අයියා එක ඕවරයක් ඉවර වී ඇඩ් දමන විට කාරය ගෙනැවිත් පෝටිකෝවේ නතර කළේය. ඊලඟ ඕවරය ඉවර වූ විට අවශ්‍ය බඩු වලින් කොටසක් කාරයට පටවා අවේය. ඊලඟට විකට් එකක් ගිය නිසා ඉතිරිටික පටවා ගැනීමට හැකිවිය. නැකතට එලියට බට අක්කාත්, අම්මාත්, අක්කාගේ නැන්දම්මාත්, අනිල් අයියා එනතුරු බලා සිටියෝය. අනිල් අයියා සංගක්කාර සෙන්චරිය ගසනතුරු බලා සිටියේය. කෙසේ වෙතත් පරම්පරාවෙන් ලද ක්‍රිකට් උන්මාදය නිසාවෙන්දෝ, අක්කාගේ දරුවාද සංගක්කාර සෙන්චරිය ගසනතුරු අවුට් නොවී සිටීමට තීරණය කර තිබීම හොඳට ගියේය.

අක්කාගේ පොඩි එකාට නමක් තැබීමට යාමේදී නම් බල්ලාට නමක් තැබුවාක් මෙන් පහසුවෙන් එකඟතාවයකට පත් වීමට අපේ අයට බැරිවුණේය.

දරුවාට ඩේවිඩ් හයින්, DB කෙහෙලගමුව, දයා සහබන්දු වැනි පැරණි ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකුගේ නම තැබිය යුතු බව තාත්තාගේ තීරණය වූ අතර, සංගක්කාරගේ සමුගැනීමෙන් හිත් වේදනාවට පත්ව සිටි අයියා කීවේ, ඔහුට කුමාර් කියා තැබිය යුතුය කියාය. අම්මාට අනුව අනූහයේ ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සිටි ඕනෑම ක්‍රීඩකයෙකුගේ නමක් දරුවාට සුදුසු විය. ඈ උදාහරණ වශයෙන් හෂාන්, රොෂාන්, අරවින්ද වැනි නම් ඉදිරිපත් කළවිට, මල්ලී ඇයට කලුවිතාරණ මතක් කළේය. තර්ඩ් අම්පයර්ගෙන් ඩිසිෂන් එක එනතුරු සිටින හෘද රෝගියෙකු වූ සීයා බලාපොරොත්තු වූයේ පොඩ්ඩාට දොන් බ්‍රැඩ්මන්ගේ හෝ බ්‍රයන් ලාරාගේ නම තියන්නටය. දිනේෂ් චන්දිමාල්ගේ කැපීයාම ගැන කිපී සිටි මල්ලී දරුවාට ඔහුගේ නම තැබිය යුතුයැයි එකහෙලාම ප්‍රකාශ කර සිටියේය. අනිල් අයියා බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රබල රසිකයෙකු වූ නිසා, ක්‍රිස් ගේල් හෝ ඩැරන් සැමී වැනි අහිංසකයෙකුගේ නමක් ඉල්ලා සිටියේය. අක්කාට වුවමනා වූයේ බ්‍රෙට් ලී නැතහොත් රොස් ටේලර් වැනි කඩවසම් ක්‍රීඩකයෙකුගේ නමක් තියන්නටය. (ඈට කිසිදු ජාතිකත්වයක් නැතැයි අයියා සහ මල්ලී කීහ ).ඔවුන්ට එකඟතාවයකට පත්වීමට නොහැකි වූ තැන ඒ පිළිබඳව මගෙන් විමසන ලදී. මට ඒ ගැන එතරම් හොඳ අවබෝධයක් නැතැයි කියා මම මගේ අත පාස් කිරීමට හැදුවෙමි. එහෙත්
ඔවුන්ට නමක් වුවමනාම වූ නිසා බැරිම තැන නිතරම අහන්නට ලැබෙණ නමක් කියා ෂේප් වීමට මට සිදුවිය.ඉතින් ඇත්තටම ක්‍රිකට් ගැන එතරම් නොදන්නා නිසාත්,ගෙදර නිතරම කියවෙන නමක් නිසාත්, විරාත් කෝලිගේ නම සුදුසු නැත්දැයි මම අවංකවම ඇසුවෙමි.

වහාම ක්‍රියාත්මක වන පරිදි මාව පවුලෙන් නෙරපා හැරීමට අපේ ගෙදර උදවිය තීරණය කළහ.

උපුටා ගත්තේ: https://www.facebook.com/yurajiechameekari.mahindadasa/posts/842074962576643

Facebook Comments